සූර්යග්රහණයේ PV අන්තර්ග්රහණය – සොබාදම් පෙරළිය දකින නවමු ජිවන අත්දැකීම

  • by Editor
  • 3 months ago
  • 56

 

මානව  වංශකථාවේ සමාරම්භක අවධියේදී මිනිසා ඉර හඳ තාරකා සේම විදුලිය සුළං වැනි ස්වභාවික සංසිද්ධීන්ද දේවත්වයෙන් ඇදහීය. තමන්ට විශ්වාස කල නොහැකි තමන්ට අවබෝධ කරගත නොහැකි සියල්ල අදාශ්‍යමාන බලවේග ලෙස සලකා ගෞරව බහුමානයෙන් සැලකීමත් ගූඪත්වයේ අඳුරු තිරපටින් ඒ යථාර්ථය වසා දැමීමත් සාමාන්‍ය මිනිස් ස්වභාවය බවට පත්ව තිබිණ. කෙසේ වුවත් මේ සොබාදහමේ මූලිකාංග හා බැඳුනු  විවිධ සංසිද්ධීන් සමඟ මනුෂ්‍ය වර්ගයාට තිබුනේ අවියෝජනීය බැඳීමකි.

නූතන මිනිසා මේ රිද්මය ඉක්මවා යමින් සොබාදහම විශ්ලේෂණය කරමින් හඳට පය තබන්නට වෙහෙසෙන විට අභ්‍යවකාශය ජයගන්නා විට තවත් පිරිසක් ඉර හඳ ගමන් කරන රටාවට නැකැත් හදමින් දෛවය තීරණය කරන ආස්ථානයක පසුවූහ. ආසියාතික සමාජය තුල නිරතුරුවම මේ වන්ද්‍රග‍්‍රහණ හා සූර්යග‍්‍රහණ ආදිය පිළිබඳව පැවැතියේ සුවිශේෂි සංස්කෘතිකමය හා ආගමික ආකල්පයකි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යන විට අළුත් අවුරුදු උත්සවය නම් මහා සංස්කෘතික උත්සවය සැමරූ අපි  බුදුන්ගේ යමාමහ පෙළහර සිදුවූ ඇතැම් අවස්ථා පූර්ණ සූර්යග‍්‍රහණයන් පැවැති අවස්ථාවන් ලෙස සලකන්නෙමු.

නමුත් සූර්ය වංශික යැයි උජාරුවෙන් වාගාඩම්බර දොඩන අපි 1955 දී සිදුවූ පූර්ණ සූර්යග‍්‍රහණයේදී ලස්සන වෙන්නට වදකහ සුදිය බොන තරමට අමනෝඥ වූයෙමු. ජීවිතයේ සැදෑ සමයට එළඹෙමින් සිටින ඇතැම් ලාංකිකයින් මේ සූර්යග‍්‍රහණය හා බැඳුනු රසවත් සිද්ධිවල මිහිරි මතකයන්ගේ හිමිකරුවන් වග නම් නිසැකය. එකල ජනතාව ඒ තරමින්ම මේ විද්‍යාත්මක සංසිද්ධියෙන් වියුක්ත වන්නට හේතුව එවැනි දෙයක් අත්විඳින්නට තරම් තාක්ෂණික පසුබිමක් නොවීමයි.

මෑතක් වන තුරුම බොහෝ දෙනා කල්පනා කලේ මෙවැනි දෑ ගැන සෙවීමත් ඒ සම්බන්ධව උනන්දුවීමක් නාසා වැනි ආයතනවලටත් මේ විෂය ක්ෂේත‍්‍රය පිළිබඳව ඉගෙන ගන්නා පිරිස්වලටත් අදාල කටයුත්තක් පමණක් බවය. සොබාදහමේ මිහිරියාවත් ආශ්චර්යයත් විදහා දක්වන සූර්යග‍්‍රහණ දෙස අධ්‍යාපනික හා සෞන්දර්යාත්මක මානයකින් බලනවාට වඩා අප හුරුවී ඇත්තේ නක්ෂත‍්‍රය හා ගුප්ත විද්‍යාවන්ට අදාලව මේ දෙස බැලීමටය. මේ නිසා බහුතරයක් දෙනා උත්සුක වන්නේ සූර්යග‍්‍රහණයක් සිදුවන අවස්ථාවේ ඇතිවන පාරිසරික වෙනස්කම් දැක ගැනීමෙන් ඇතිවන ප‍්‍රහර්ෂය විඳ ගැනීමට වඩා සූර්යග‍්‍රහණයෙන් පසු නැකැත් තරුවල ඇතිවන වෙනස්කම් මත තම තමන්ගේ ලග්නවල ග‍්‍රහචාරයේ වෙනස්කම් බලා ගැනීමටය.

නමුත් කාලය බොහෝ දේ වෙනස් කරයි. දැනට දශක දෙක තුනකට පමණ පෙර ලාංකේය අපට දුරකතනය යනු මහා තාක්ෂණික මෙවලමකි. එය හැසිරවීමට දැන සිටියේ අල්පයක් දෙනා වන අතර බහුතරයක් එය භාවිතා කලේ බිය මුසු චකිතයකිනි. එහෙත් වර්තමානයේ මේ දුරකථනය වැසිකිලි කැසිකිලි යාම හැර දෛනික ජීවිතයේ සියලු දෑ මෙහෙයවන ශාරීරික අවයවයක් තරමටම අපට සමීපය. වයස් බේදයකින් තොරව සමස්ත ප‍්‍රජාවම දැන් මේ සුහුරු ජංගම දුරකථන හෙවත් Smart phone පිළිබඳව මහා ප‍්‍රාඥයෝය.

මේ දුරකතන සමගින් අපට සමීප වූ අන්තර්ජාල පහසුකම කාලීන සිදුවීම් හා නව තාක්ෂණික උපාංග පිළිබ`දව සාමාන්‍ය ජනතාව දැනුමින් හා අවබෝධයෙන් යාවත්කාලීන කිරීමට මහෝපකාරී විය. දැන් ලෝකයේ කොහේ හෝ සිදුවන සිදුවීමක් සේම නවතම සොයාගැනීමක් පවා අසුරු සැණින් ඇඟිලි තුඩින් අප කරා යොමු වෙයි. මිනිස් සමාජයේ ඉදිරි ප‍්‍රගමනය සඳහා  එහි යම් සාධනීය තත්ත්වයක් ඇතිවී තිබේද යන්න මෙහිදී විමසා බැලීම වැදගත්ය.

අතීතයේ විදුරු කෑල්ලක් පහන් දැල්ලකට අල්ලා කළුකරගත් අපි සූර්යයා නිරීක්ෂණය කලෙමු. තවත් විටෙක සූර්යයාගේ කිරණ සෘජුවම ඇස ගැටීම හානිකර යැයි සලකා ජල බේසමක් පුරවා එයට වැටෙන හෙවනැල්ලෙන් සූර්යග‍්‍රහණ නිරීක්ෂණය කලෙමු. ඔරලෝසු භාවිතයක් නොවූ යුගයක තමන්ගේ හෙවනැල්ලේ දිග ප‍්‍රමාණය අනුව දවසේ හෝරාව තීරණය කල ජාතියක අපි තාක්ෂණික මෙවලම්වල වහලුන් නොවී ඒ භාවිතයෙන් මානව සංහතියේම ප‍්‍රවර්ධනයට කල යුතු දෑ කරන්නට වග බලා ගත යුතුය. ඒ උදෙසා අපගේ බාල පරම්පරාව මෙවැනි දෑ සජීවිව නිරීක්ෂණය කිරීමෙන් ලබන අපූර්ව ජීවන අත්දැකීම අතිශය වැදගත්ය.

නූතනයේ සූර්යග‍්‍රහණ සම්බන්ධව නව මානයකින් බලන්නට අපූරු මංපෙතක් විවරව තිබේ. එනම් පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති සම්පාදනයේ තීරණාත්මක ගාමක බලවේගය වන සූර්ය බලශක්ති උත්පාදනය හා සබැඳි තාක්ෂණික උපාංගයකි. සාමාන්‍යයෙන් වර්තමාන වෙළදපලේ ඇති  ඕනෑම සූර්ය බල පද්ධතියක දුරස්ථව නිරීක්ෂණය කිරීමේ පහසුව සලසා ඇත. විශේෂයෙන් SolarEdge තාක්ෂණයෙන් යුතු පද්ධතියක සියල්ල පැනල් මට්ටමෙන් නිරීක්ෂණය කල හැකි අතර එක් එක් පැනලය මගින් නිෂ්පාදනය තරන බලශක්ති ප‍්‍රමාණය ආදියද පෙන්නුම් කරයි. මෙහිදී සූර්යග‍්‍රහණයක් නිරීක්ෂණය වන්නේ පියවි ඇසට පෙනෙන රූපමය දසුනක් ලෙස නොව ප‍්‍රස්ථාරිකව නිරූපණය වන දත්ත වෙනස් වීමක් ලෙසිනි. තත්පරයෙන් තත්පරය සූර්යයාගේ ආවරණය වීම හේතුකරගෙන සිදුවන සූර්ය බල ශක්ති ජනනයේ වෙනස්වීම දුරකතන හෝ පරිගණක උපාංගයක් වෙතින් නිරීක්ෂණය කිරීම සැබැවින්ම චමත්කාරජනක අත්දැකීමකි.

ඔබ සූර්ය බල පද්ධතියක හිමිකරුවෙකු බවට පත්වූයේ අනාගත ලෝකයේ සිදුවන දේශගුණික හා පාරිසරික වෙනස්වීම් කෙරෙහි සංවේදී වීමෙන් ඇතිවූ සමාජ හිතකාමී හැගීමක් සමගිනි. ඉතින් SolarEdge  මේ කරන්නේ එවන් සංවේදීතාවයක් ඇති ඔබට 2017 අගෝස්තු 21 වන දින ඇති වීමට නියමිත පූර්ණ සූර්යග‍්‍රහණයක පාරිසරික වෙනස්වීම විශ්මයජනක ආකාරයේ ජීවන අත්දැකීමක් ලෙස විඳින්නට ඉඩකඩ සැලසීමේ සමාජ සත්කාරයයි.

 https://www3.solaredge.com/us/pveclipsetracking

https://curiosity.com/series/eclipse-2017

Read next: A new joint report by UNDP and ADB Assessment of Sri Lanka’s Power Sector – 100% Electricity Generation through Renewable Energy by 2050