තිරසර හෙට දිනට ලෝකය ගෙනයන නව මානය සොයන සංවාදාත්මක ප්‍රවේශය…..

  • by Editor
  • 4 months ago
  • 0

 

වසර දහස්ගණනක් පුරා පොළෝතලයේ ගැඹුරෙහි තිබූ පොසිල ඉන්ධන වසර 200ක් පමණ කෙටි කාලයකදී අසීමාන්තික වේගයකින් පරිභෝජනය කල මිනිසා මේ දක්වා පෙන්වන ලද සියළු විජ්ජාවන්ගේ අවසානය කරා දැන් එළඹී තිබේ. වසර 2050 වන විට පොසිල ඉන්ධන භාවිතය නතර කිරීමට ගත් තීරණය මානව සංහතියේ තීරණාත්මක සංදිස්ථානයක් වන්නේ එබැවිනි. මක්නිසාද යත් කටයුතු සිදු වන්නේ මේ ආකාරයටම නම් ලෝකයට තව දුරටත් ඉදිරියට යා නොහැකි බැවිනි.

සොබාදහමේ සියලු න්‍යායන්ට අනුගත වෙමින් තිරසාර භාවිතයකින් දඩයක්කාරයාගේ සහ රැස්කරන්නාගේ භූමිකාවෙන් වසර දහස් ගණනක් ස්වභාවික සත්වයෙකු ලෙස ජීවත්වූ මිනිසා පවුල වර්ගය හා ජාතිකත්වය පදනම් කරගත් දේශපාලනික සත්වයෙකු බවට පත්වූ දා සිට පරිසරයට සිදු කල හානිය සුළුපටු නැත.

ලෝකය පුරා මතවාදී පෙරලියක් සිදුකල පන්තිය මත පදනම් වූ සමාජවාදයේ අනුහසින් බිහි වූ කොමියුනිස්ට්වාදී රාජ්‍ය බිඳවැටී දුප්පතුන් නැති ලෝකයක සිහිනය සෙමින් බොඳවී ගියේය. වර්ගය පදනම් කරගත් ලෝකයේ සම්පත් භාවිතය එක් පිරිසකට හිමිවූ වරමක් බවට සැලකූ පැසිස්ට්වාදී රාජ්‍ය මහදවාලේ බිඳ වැටුනේ අධිපතිවාදයට මිහිපිට තව දුරටත් ඉඩ නොමැති බව තහවුරු කරමිනි. අවසානයේ සියළු ගැටළුවලට පිළිතුරු සමඟ පුද්ගල නිදහස කේන්ද්‍රීය බලවේගය කරගනිමින් බිහිවූ ලිබරල්වාදය අවසානයේ පශ්චාත් ලිබරල්වාදී වංකගිරියක සිරවෙමින් නිරුත්තර විය. මේ තුන්මානයම අසාර්ථක නම් අප සොයා යා යුතු සිව්වවන මානය කුමක්ද?

දැන් සත්‍ය ලෙසම ගැටළුව වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහල යාම හෝ කසල කළමනාකරණය හෝ නොව මිහිතලයේ හෙට දවස තීරණය කෙරෙන මිනිසාගේ අනාගත දිශානතිය තීරණය කරන නව මානය සොයා ගැනීමයි. අප මෙතෙක් ජීවිතය විග්‍රහ කල දලදේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම ආදී සාම්ප්‍රදායික නිර්ණායකවලට ඔබ්බට යමින් තිරසාර සංවර්ධන ඉලක්ක ඔස්සේ ජීවිතය පිලිබඳ නව නිර්ණායක ඔස්සේ නව මානයකින් බැලිය යුතු මොහොත දැන් එළඹී තිබේ. යම් ගැටලුවකට අද දවසේ බිහිවන සාර්ථකම විසඳුම තවත් වසර කිහිපයක් වෙනත් ආකාරයක බරපතල අර්බුදයකට හේතු වන බැවින් තිරසර ලොවකට මඟ කියන සාර්වත්‍රික හා සර්වකාලීන පිලියමක් තිබේද? එසේ නම් ඒ කුමක්ද? දැන් සංවාදයට ලක්විය යුත්තේ සැඟවී පවත්නා එකී අර්බුදයයි.

බහුතරයක් දෙනා වඩා හොඳ ඉස්පිරිතාල ගොඩනැගීම, විශේෂඥ වෛද්‍යවරු සංඛ්‍යාව ඉහළයාම මානව සංහතියේ දියුණුව බව සිතන වටපිටාවක සැබෑ දියුණුව යනු මිනිසුන්ට රෝහල්ගතවීමේ අවශ්‍යතාවයක් මතු නොවී ඔවුන් නිරෝගීව ජීවත් වීම බව ඒත්තු ගැන්වීමේ අසීරු වෑයම මේ මොහොතේ ඇති කාලීන අවශ්‍යතාවයයි. එහෙත් එය එතරම් පහසු නොවන්නේ මානව මනස ක්‍රියාත්මක වීමේදී ගාමක බලවේගය වන අවිනිශ්චිතභාවය හා විශ්වාසවන්තභාවය අහිමිවීම නිසා මිනිසා ඉදිරිගමනක් ගැන සිතන්නට ඇති පෙළඹවීම හීනවීයමයි.

අනෙක් අන්තයෙන් බලන විට අද වන විට ලෝකයේ අනාගත ගමන තීරණය කරන්නේ බහුතර මතය නොව ලෝක ජනගහනයෙන් 2% පමණ කුඩා ප්‍රතිශතයකින් යුත් ගෝලීය සුපිරි සමාජය විසිනි. ජනමාධ්‍ය, මිලිටරිකරණය, ආර්ථිකය ආදී සමස්ථය මෙහෙයවන යථාර්තවාදී බලය ඔවුන් සතු පසුබිමක රටක ජනාධිපතිවරු අගමැතිවරු කිසිවක් කල නොහැකි පඹයින් පමණකි.

මෙම ගෝලීය සුපිරි සමාජය විශ්වාස කරන පරිදි අනාගත ලෝකය ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යන්නට නම් වර්තමාන ජනගහනය හරි අඩකින් අඩු කල යුතුය. ජාන තාක්ෂණය මත පදනම් වූ ආහාර රටාවන්, හමුදාමය ක්‍රියාමාර්ග ආදී පෙරමුණු ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක වන්නේ එකී සංහාරයයි. නමුත් වර්තමාන තරුණ පරපුර මේ කිසිවක් නොදකින අතර නිර්වින්දනය වූ ලෙසින් කල් ගෙවයි.

නවමානයක කතිකාව යනු මේ නිර්වින්දනයෙන් සමාජය මුදවාලන මේ සිහිනයෙන් සමාජය අවදිකරන තිරසර හෙට දිනට ලෝකය ගෙනයන නව මානය සොයන සංවාදාත්මක ප්‍රවේශයයි.

ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ජේ ලංකා ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම මෙම සමාජ සත්කාරය සඳහා මූල්‍ය දායකත්වය සපයන අතර මහාචාර්ය සරත් කොටගම, ආචාර්ය ටියුඩර් වීරසිංහ, ආචාර්ය සුරේන් බටගොඩ සහ අශෝක අබේගුණවර්ධන යන විද්වතුන් සම්පත් දායකත්වය සපයයි.

මෙම සංවාදාත්මක නව කතිකාව සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 8.30ට දෙරණ 24×7 නාලිකාවෙන් නැරඹිය හැකිය. සෑම බදාදා දිනකම පෙරවරු 8.30ට නැවත විකාශයකට ඉඩ සලසා තිබේ.

Read next: JLanka Flood Information Center